Women's health

IUI: intrauterine insemination

මොකක්ද මේ IUI (IntraUterine Insemination) කියන්නේ

Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.

මෙම ක්‍රමයේදී ඇත්තටම සිද්ධ කරන්නේ සාමාන්‍ය ක්‍රමයට ගර්භනී වෙන්න අපහසු, මදසරු යුවලක් සඳහා, කෘතිම ව ශුක්‍රාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීමක්.

මූලිකවම, මෙහිදී පුරුෂයාගෙන් ගන්නා ලද ශුක්‍රාණු සාම්පලය, සේදීමකට සහ සාන්ද්‍රනය කිරීමකට ලක් කරනවා. මෙහිදී බලාපොරොත්තු වෙන්නේ ශුක්‍රාණු සාම්පලය සමග ඇති සෛල නොවන කොටස් ඉවත් කිරීමත්, ශුක්‍රාණු වල සාන්ද්‍රනය වැඩි කිරීමත් සමග අසාමාන්‍ය ශුක්‍රාණු සාම්පලයෙන් ඉවත්කර ගුණාත්මක තත්ත්වයෙන් වැඩියි ශුක්‍රාණු තබාගැනීමයි.

මෙහිදී අවසානයට ලැබෙන ශුක්‍රාණු සාම්පලයේ ශුක්‍රාණු වල ඝනත්වය ඉතාමත් වැඩි අතර ශුක්‍රාණුවල ඇති අවිධිමත් සෛල සියල්ලක්ම පාහේ ඉවත් වී, හොඳ තත්ත්වයෙන් පවතින සෛල පමණක් සාම්පලය තුළ ඉතිරි වේ.

මීට අමතරව, මෙහිදී මෙම සාදාගන්නා ලද ශුක්‍රාණු සාම්පලය, කෘතිමව ගර්භාෂය ඇතුලටම තැම්පත් කිරීම සිදු කරනවා. එවිට ගර්භාෂයේ නාල කරා ගමන් කිරීමේ දී ශුක්‍රාණුවලට සිද්ධ වෙන හානිය සහ ප්‍රතිරෝධය වළක්වා ගැනෙනවා.

මෙම ක්‍රමය මගින් මද සරු කාන්තාවක් ගර්භණී වීමේ හැකියාව, සාමාන්‍ය එකතු වීමකට වැඩිය වැඩියි.

මෙම ක්‍රියාවලිය ගැන සඳහන් කරනවා නම්, මෙහිදී අදාළ පුරුෂයා ශුක්‍රාණු නිපදවීම පරීක්ෂණාගාරයේ දී සිද්ධ කර, සාම්පලය එම විද්‍යාගාරයේ විද්‍යාඥයා හට ලබා දීම සිද්ධ කරනවා. ඉන්පසුව එම විද්‍යාඥයා විසින් සාම්පලය, මුලින් කී ආකාරයට සකස් කිරීම සිදු කරනවා.

මීට සමගාමීව, කාන්තාව සංසේචනය සඳහා කෘතිමව සකස් කිරීම, කාන්තාවගේ මාසික ඔසප් වීමේ කාල වකවානුවේ සිට පටන් ගැනීම සිද්ධ කරනවා. කාන්තාවගේ ඩිම්බ මේරීම ක්‍රමවත්ව සිද්ධ කිරීම සඳහා, පළමුව ඩිම්බ මේරීම සඳහා ප්‍රතිකාරයකුත්, පසුව හොඳින් මේරු ඩිම්බයක් පිට කිරීම සඳහා එන්නතක් ලබාදීම ද සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් ඩිම්බ මේරීම සඳහා කරන ප්‍රතිකාරය ඔසප් ඔසප්වීමේ දෙවන දවසේ සිට 6 වෙනි හෝ හත් වෙනි දවස දක්වා සිදුකරන අතර, ඩිම්බ පිට කිරීම සඳහා එන්නත විදීම සිද්ධ කරන්නේ, ඔසප් චක්‍රයේ දොළොස්වෙනි දවස ආසන්නයේදීය. කාන්තාවගේ මෙම ඩිම්බ මේරීම සහ පිට කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය ස්කෑන් පරීක්ෂණ මගින් නිරීක්ෂණය කරනු ලබනවා.

අවසානයේදී මෙම ඩිම්බය පිට වූ වහාම, සාදාගත් ශුක්‍රාණු සාම්පලය ප්ලාස්ටික් කැතීටර් එකක් මගින් ගර්භාෂය ඇතුලටම තැන්පත් කිරීමක් සිද්ධ කරනවා. මෙහිදී කාන්තාව උඩුබැලි අතට නිදාගෙන සිටියදී, විශේෂිත උපකරණයක් යෝනි මාර්ගය තුළින් ඇතුලත් කර, ගර්භාෂයේ ගෙල හරහා අදාළ කැතීටරය මගින් ශුක්‍රාණු සාම්පලය තැන්පත් කරනු ලබනවා. ඉන්පසුව කාන්තාව එහෙම ඉරියව්වේම මිනිත්තු තිහකට ආසන්න කාලයක් වැතිරී සිටිය යුතුයි. යෝනි මාර්ගය සේදීම සඳහා ජලය හෝ සබන් වැනි ද්‍රව්‍යයක් පාවිච්චි කිරීම මේ අවස්ථාවේ නොකළ යුතුයි.

සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියෙන් පසු සති දෙකක් ඇතුළත ගර්භනී වීමක් බලාපොරොත්තු විය හැකි අතර. මේ නිසා අපි කාන්තාවට යෝජනා කරනවා, සති දෙකක් ගතවීමෙන් පසුව මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කර ගර්භනීද නැද්ද යන්න සැක හැර දැනගන්නට.

මීට අමතරව මෙම කාලය පුරාම සහ ගර්භනී බලාපොරොත්තු වීමට මාස තුනකට පමණ කලින් සිට ෆෝලික් ඇසිඩ් මයික්‍රෝ ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

When to get help now

If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.

Call 1990 — Suwa Seriya

This article is for general education. It does not replace advice from your own doctor or midwife.