කාන්තා සෞඛ්‍යය

ශල්‍යකර්මය සාර්ථකයි, ඒත් රෝගියා අසාර්ථකයිද?

ශ්‍රෝණි ශල්‍යකර්ම ගැන කතා කළ යුතු තිත්ත ඇත්ත!

මෙම මාතෘකාව මම අද කතාකරන්නෙ, මගෙ රෝගියකුගෙ අත්දැකීමකින්.

බොහෝ විට ශල්‍ය වෛද්‍යවරුන් මනින්නේ ශල්‍යකර්මය "තාක්ෂණිකව" සාර්ථකද යන්න පමණි. "අපි ගෙඩිය අයින් කළා," "අපි ඉන්ද්‍රියයන් නියම තැනට හැදුවා. නමුත් ඉන් පසු එම කාන්තාවගේ ජීවිතයට සිදුවූයේ කුමක්ද?

අද වන විට වෛද්‍ය ක්ෂේත්‍රය තුළ විශාල විවාදයක් ඇති වී තිබෙන ප්‍රශ්නයක් වන්නෙ. සාර්ථක ශල්‍යකර්මයක සැබෑ නිර්ණායකය විය යුත්තේ රෝගියාගේ "ස්කෑන් රිපෝට්" එකද, නැත්නම් ඇයගේ "ජීවන තත්ත්වය" ද?

ප්‍රතිසංස්කරණ ශල්‍යකර්මවලදී (Pelvic Reconstructive Surgery) අප මුහුණ දෙන ගැටලු කිහිපයක් මෙන්න:

ඇයි රෝගියාගේ හඬ යටපත් වෙන්නේ?

බොහෝ විට වෛද්‍යවරුන් ව්‍යුහය නිවැරදි කිරීම ගැන උනන්දු වුවත්, ශල්‍යකර්මයෙන් පසු රෝගියාට දැනෙන අපහසුතාව හෝ මානසික පීඩනය ගැන අවධානය යොමු කරන්නේ අඩුවෙන්.

ලිංගික සුවතාවය:

බොහෝ ශල්‍යකර්මවලින් පසු කාන්තාවකගේ ලිංගික ජීවිතයට සහ සමීප සබඳතාවලට සිදුවන බලපෑම ගැන කතා කිරීමට සමාජයත්, වෛද්‍ය ක්ෂේත්‍රයත් තවමත් මැලිවේ. ලොකුම ප්‍රශ්නය නම්, අදාල කාන්තාව එය ප්‍රකාශ කිරීමට මැලිවීමයි.

"ශාරීරික සුවය" පමණක් ප්‍රමාණවත්ද?

ශල්‍යකර්මයකින් පසු ඇයට නැවත තමන් ප්‍රිය කරන ක්‍රියාකාරකම්වල යෙදිය නොහැකි නම්, ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටී ඇත්නම්, එම ශල්‍යකර්මය ඇත්තටම "සාර්ථකයි" කියා පැවසිය හැකිද?

රෝගියා සම්පූර්ණ සුවය ලැබීමට බාධාවක් වී ඇති ප්‍රධාන අභියෝග කිහිපයක් මෙන්න:

මනෝවිද්‍යාත්මක සහය: "මට පිස්සු නෑනේ!"

ශල්‍යකර්මයකින් පසු ඇතිවන මානසික පීඩනයට හෝ ලිංගික ගැටලුවලට මනෝවිද්‍යාත්මක උපදෙස් (Psychologist) අවශ්‍ය බව පැවසූ විට, බොහෝ ලාංකික රෝගීන් එය ප්‍රතික්ෂේප කරන්නේ "මට පිස්සු නැහැ" යන මිත්‍යා මතයේ සිටයි. මානසික සුවය නොමැතිව ශාරීරික සුවය සම්පූර්ණ වන්නේ කෙසේද?

"ලාභෙට" බෙහෙත් සෙවීම සහ ආර්ථික පීඩනය

අද පවතින ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ රෝගීන් උත්සාහ කරන්නේ ගුණාත්මකභාවයට වඩා "අඩුම මිල" ඇති විකල්ප සොයා ගැනීමටයි. "ඩොක්ටර්, ඕකට ලාභ බෙහෙතක් නැද්ද?" කියා අසන රෝගියා තමන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය පරදුවට තබා මුදල් ඉතිරි කිරීමට උත්සාහ කිරීම කණගාටුදායකයි.

රජයේ රෝහල්වල පවතින හිඟපාඩු

සියල්ල නොමිලේ ලැබෙන රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ පවා අද වන විට අත්‍යවශ්‍ය සේවාවන් රැසක් අඩාල වී ඇත. ඇතැම් සංකීර්ණ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ හෝ පහසුකම් රජයේ රෝහල්වල නොමැති වීම නිසා රෝගියාට සිදුවන්නේ පෞද්ගලික අංශයේ අධික මිල ගෙවීමට හෝ සුවය ලැබීම ප්‍රමාද කිරීමටයි.

බෙහෙත් හිඟය සහ අතුරු ආබාධ

වෙළඳපොළේ පවතින ඖෂධ හිඟය නිසා නියමිත ඖෂධය වෙනුවට වෙනත් විකල්ප භාවිතා කිරීමට සිදුවීමෙන් රෝගීන්ට අනවශ්‍ය අතුරු ආබාධවලට මුහුණ දීමට සිදුවේ. ගුණාත්මක ඖෂධ රෝගියාට ලබා දීමට නොහැකි වීම සැබෑ අර්බුදයකි.

අපගේ මතය වන්නේ: සාර්ථක ශල්‍යකර්මයක් යනු පරිපූර්ණ "operation" එකක් නොව, රෝගියාට නැවත සතුටින් ජීවත් වීමට ඇති හැකියාවයි.

වහාම උදව් ගත යුත්තේ කවදාද

යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.

1990 අමතන්න — සුව සැරිය

මෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.