ගැබ් ගැනීමට පෙර සහ මුල් මාස තුන

Pregnancy of Unknown Location (PUL)

පොසිටිව් pregnancy test එකක්… හැබැයි scan එකේ ගර්භාෂය ඇතුළේ ගැබක් පේන්නේ නෑ. මේක මොකක්ද?

මේ තත්ත්වයට වෛද්‍ය භාෂාවෙන් කියන්නේ Pregnancy of Unknown Location (PUL) කියලා.

හේතු තුනක් තියෙන්න පුළුවන්:

ගැබ හරිම කුඩා — scan එකට තවම පේන්න නැති තරම් (බොහෝ විට රුධිර hCG මට්ටම 1500ට අඩු වෙලා)

ගැබ ගර්භාෂයෙන් පිටත — බොහෝ විට ෆැලෝපියානු නාලය ඇතුළේ. මේකට කියන්නේ ectopic pregnancy. ගැබ් ගැනීම් 100කින් 1-2කට විතර වෙනවා.

ගැබ ඒ වෙලාවේම නැති වෙමින් ඉන්න එකක් - failing pregnancy

මොකක්ද කියලා දැනගන්නේ කොහොමද?

  • පැය 48ක් පරතරයෙන් රුධිර hCG දෙපාරක් මැනීම + දින කිහිපයකින් scan එක නැවත කිරීම.
  • මේ follow-up එක මග හැරියොත් ලොකු අන්තරාවක් - ectopic එකක් පිපිරුණොත් (rupture) ඇතුළත බරපතළ ලේ ගැලීමක් වෙන්න පුළුවන්.

ectopic එකක් නම් ප්‍රතිකාර තුනක් තියෙනවා:

බලා සිටීම — වේදනාවක් නෑ, hCG අඩු (1000ට අඩු) සහ ටිකෙන් ටික බහිනවා නම්

Methotrexate එන්නත — මාංශපේශියට දෙන එකම එන්නතක්.

ශල්‍යකර්මය

Methotrexate ගත්තොත් මතක තියාගන්න:

  • ප්‍රතිකාර ඉවර වෙනකම් folic acid / multivitamin ගන්න එපා (එන්නත වැඩ කරන්නේ folate එකට විරුද්ධව),
  • මත්පැන් එපා,
  • ලිංගික සංසර්ගයත් එපා
  • මාස 3ක් ගැබ් ගන්න එපා — ඒ කාලයට උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්න
  • ඊළඟ ගැබ් ගැනීමට කලින් folic acid 5mg පටන් ගන්න.
  • නැවත ectopic වීමේ අවදානම 100කින් 10-18ක් නිසා, ගැබ් ගත් ගමන් සති 6ක් වෙද්දී early scan එකක් කරගන්න

මේ ලක්ෂණ තියෙනවා නම් වහාම රෝහලට:

  • යටිබඩේ එක පැත්තක දරුණු වේදනාව
  • උරහිසේ (shoulder tip) වේදනාව
  • කරකැවිල්ල, කළුවර වැටීම, සිහිය නැති වීම
  • මලපහ කරන විට වේදනාව හෝ යටිබඩේ තද පීඩනයක්
  • යෝනි මාර්ගයෙන් ලේ යාම

එක දෙයක් මතක තියාගන්න: පොසිටිව් test එකක් තියෙනවා නමුත් scan එකේ ගර්භාෂය ඇතුළේ ගැබ නොපෙනෙනවා නම්, ඒක ගෙදර ඉඳලා බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි. ගැබ කොහෙද කියලා තහවුරු වෙනකම් follow-up එක අතපසු කරන්න එපා.

ඔබට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

වහාම උදව් ගත යුත්තේ කවදාද

යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.

1990 අමතන්න — සුව සැරිය

මෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.