ගැබ් ගැනීමට පෙර සහ මුල් මාස තුන

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම (Ectopic Pregnancy)

මෙය සිදුවන්නේ සංසේචනය වූ ඩිම්බය සාමාන්‍යයෙන් තැන්පත් විය යුතු ගර්භාෂ කුහරයෙන් පිටත (බහුලවම පැලෝපීය නාලයේ) තැන්පත් වීමෙනි. මෙවැනි ගැබ් ගැනීමක් සාර්ථක නොවන අතර කළලය විශාල වී නාලය පුපුරා ගොස් ජීවිතයට තර්ජනයක් විය හැකි හෙයින්, වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

රෝග ලක්ෂණ සහ ඇතිවන අවදානම

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සාමාන්‍යයෙන් සති 6 ත් 10 ත් අතර කාලයේදී රෝග ලක්ෂණ පෙන්වයි.

ප්‍රධාන රෝග ලක්ෂණ:

  • යෝනි මාර්ගයෙන් රුධිර වහනය
  • යටි බඩේ හෝ ශ්‍රෝණි ප්‍රදේශයේ වේදනාව (එක් පැත්තකට වැඩිව දැනීම).
  • හදිසි අවස්ථා ලක්ෂණ: ක්ලාන්තය, අධික කරකැවිල්ල හෝ දරුණු, හදිසි වේදනාවක්,
  • මෙම ලක්ෂණ අභ්‍යන්තර රුධිර වහනයක ලක්ෂණ විය හැකියි. එවැනි විටක වහාම රෝහල් ගත විය යුතුයි!!
  • භයානකම සංකූලතාවය වන්නේ, වර්ධනය වන කලලය නිසා පැලෝපීය නාලය පුපුරා යාමයි (Tubal Rupture). මෙය ජීවිත අවදානමක් ගෙන දෙන අධික අභ්‍යන්තර රුධිර වහනයකට හේතු විය හැක.

ප්‍රතිකාර ක්‍රම

ප්‍රතිකාර ක්‍රමය තීරණය කරනු ලබන්නේ රෝගියාගේ තත්ත්වය, ගැබ්ගැනීමේ ප්‍රමාණය, hCG හෝමෝන මට්ටම සහ රෝගියාගේ කැමැත්ත අනුවයි.

  • නිරීක්ෂණය (Expectant Management): සමහර විට, පිටත තැන්පත් වූ කළලය සජීවී නොවන අවස්තාවක, hCG මට්ටම අඩුවන බව තහවුරු වුවහොත්, එය ස්වභාවිකවම දියවී යාමට ඉඩ දී දැඩි නිරීක්ෂණයක් යටතේ සිටීම.
  • ඖෂධ ප්‍රතිකාර (Methotrexate): රෝග ලක්ෂණ අවම සහ, hcg හෝමෝන මට්ටම අඩු රෝගීන්ට, ගැබ්ගැනීමේ සෛල වර්ධනය වීම නැවැත්වීමට Methotrexate නම් ඖෂධය එන්නතක් ලෙස ලබා දීම.
  • ශල්‍යකර්ම ප්‍රතිකාර (surgery) :

ලැපරොස්කොපි සැත්කම (Laparoscopy) සාමාන්‍යයෙන් සිදු කෙරෙන කුඩා සිදුරු කීපයක් මගින් සැත්කම කිරිමයි. මෙහිදී Ectopic Pregnancy එක ඉවත් කරන අතර, බොහෝ විට බලපෑමට ලක් වූ පැලෝපීය නාලය ද ඉවත් කරනු ලැබේ (Salpingectomy).

ලැපරොටොමි සැත්කම (Laparotomy): පුපුරා යාමකදී හෝ අධික රුධිර වහනයකදී රුධිරය පාලනය කිරීම සඳහා හදිසි අවස්ථාවලදී සිදු කරන විවෘත ශල්‍යකර්මය මෙයයි.

මතක තබා ගත යුතු දේ - ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් යනු මානසිකව ඉතා අසීරු අත්දැකීමක් වන අතර, එය ගැබ්ගැනීම් අහිමිවීමක් ලෙස සැලකීම සහ ඒ සඳහා අතිශය සන්වේදීවීම සාමාන්‍ය දෙයකි.

බොහෝ කාන්තාවන්ට මතුවන ගැටළුවක් වන්නේ, නැවත ගැබ් ගැනීමක් සිදුකරන්නේ කෙසේද යන්නයි. පැලෝපීය නාලයක් ඉවත් කළ පසුව වුවද, බොහෝ කාන්තාවන්ට නිරෝගී ගැබ් ගැනීම් ලැබීමට හැකියාව ඇත.

ඔබ ගැබ්ගෙන සිටින අතර ඉහත රෝග ලක්ෂණ ඇත්නම්, ප්‍රමාද නොවී ඔබේ වෛද්‍යවරයා හමුවන්න හෝ වහාම රෝහලකට යන්න.

වහාම උදව් ගත යුත්තේ කවදාද

යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.

1990 අමතන්න — සුව සැරිය

මෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.