දරු ප්‍රසූතිය සහ ඉන් පසු

කිරිදෙන අම්මාවරුන්ගේ ශෝකාලාපය

අද අපි අම්මලාට හරිම වැදගත්, නමුත් ඒ වගේම අම්මලාට අභියෝගාත්මක මාතෘකාවක් ගැන කතා කරන්න පටන් ගන්නවා. මාතෘ හා නාරිවේද වෛද්‍යවරයක් විදිහට මම දැකලා තියෙනවා, අලුත උපන් බබාට කිරි දීම කියන්නේ අම්මලාට විශාලම පීඩනයක් ගෙන දෙන දෙයක් කියලා, විශේෂයෙන් first time අම්මලාට.

ඒක හරියට "පැන්ඩෝරා පෙට්ටියක්" වගේ. හොඳ උපදෙස් වගේම අනවශ්‍ය බරක් දැනෙන තරමටම පීඩනයකුත් මේ මාතෘකාව තුළ තියෙනවා.

ඉදිරි ලිපි කිහිපය තුළ අපි මේ ගැන ගැඹුරින් කතා කරමු. අද, අපි කිරි දීමේ විවිධ ක්‍රම මොනවද සහ මේ සංවාදය අම්මලාගේ මානසික නිරෝගීතාවයට මෙතරම් වැදගත් වෙන්නේ ඇයි කියලා බලමු.

මව්කිරි කියන්නේ අපේ බබා වෙනුවෙන් සොබාදහමෙන් ලැබුණු අපූරුම තෑග්ග. ඒකේ වටිනාකම අමතක කරන්න බැහැ.

මෙමගින් බබාට ලැබෙන පුදුම ප්‍රතිලාභ අතර;

  • පරිපූර්ණ කෑම වේලක්,
  • පහසුවෙන් දිරවන, බබාට අවශ්‍ය හැම පෝෂණයක්ම තියෙන ආහාරයක්.
  • සුපිරි ආරක්ෂාවක් ලබදීම (immunity ) - මේවා අතර කන් ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගවලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ වලින් මව්කිරි සන්නද්ධ වෙලයි තියෙන්නේ.
  • කිරිදෙන වෙලාවේ සම-සම ස්පර්ශයෙන් (skin-to-skin) අම්මයි බබයි අතරේ ඇතිවෙන අනොන්‍ය සම්බන්ධය හරිම ශක්තිමත්.

අම්මාට ලැබෙන ප්‍රතිලාබ අතර;

  • ඉක්මනින් ඇඟ හැඩ වීම,
  • කිරි දෙන විට පිටවන හෝමෝන නිසා ගර්භාෂය ඉක්මනින් සාමාන්‍ය ප්‍රමාණයට හැකිල අනවශ්‍ය ලෙස ලේ පිටවීම පාලනය කරයි.
  • සමහර රෝග අවදානම අඩු කරයි: පියයුරු සහ ඩිම්බ කෝෂ පිළිකා වගේම දියවැඩියා අවදානම අඩු කරන්නත් උදව් වෙනවා.

මව්කිරි දීමේ විවිධ ක්‍රම හඳුනා ගනිමු.

  • සම්පූර්ණ මව්කිරි දීම (Exclusive Breastfeeding): බබාට මව්කිරි විතරක් (තන පුඩුවෙන් හෝ පොම්ප කර) දීම.
  • කෘතීම කිරි දීම (Formula Feeding): මව්කිරි ප්‍රමාණවත් නැත්නම් හෝ දෙන්න බැරි නම්, ආරක්ෂිතව වෙළඳපොලේ ඇති කුඩු කිරි වර්ග භාවිතා කිරීම.
  • මිශ්‍ර කිරි දීම (Mixed Feeding): මව්කිරි සහ කෘත්‍රිම කිරි දෙකම එකට දීම. (මම විශේෂයෙන්ම අනුමත කරන ක්‍රමයක්. ඒ ගැන ඉදිරියේදී කතා කරමු.)
  • ප්‍රසූතියට පෙර කොලස්ට්‍රම් එකතු කර ගැනීම (Antenatal expression): දරු ප්‍රසූතියට කලින් සති කිහිපයේදී පෝෂ්‍යදායී "පළමු කිරි - Colostrum" එකතු කරලා තියා ගැනීම. මේ ගැන වැඩි විස්තර පසුවට කල්තබමු.

මව් කිරි දීමෙදී අම්මලාට දැනෙන පීඩනය -

මගේ අත්දැකීම් අනුව මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. අම්මලාගේ කිරි ප්‍රවාහයේ දුර්වලතා, තන පුඩු වේදනාව, හෝ මානසිකව හරිම අමාරු තත්ත්වයක ඉන්න වෙලාවක, "කොහොම හරි සම්පූර්ණ මව්කිරි දෙන්න ඕනේ" කියලා සමාජයෙන් එන බලපෑම සහ පීඩනය ලොකු ප්‍රශ්නයක්.

මේ අධික පීඩනය සහ "මට බැරි වුණා" කියන හැඟීම තමයි ප්‍රසූතියෙන් පසු මානසික අවපීඩනයට එක් ප්‍රධාන හේතුවක් වෙන්නේ.

කිරි දීමට බලකිරීම නිසා අම්මා කෙනෙක් මානසිකව වට්ටලා දාන්න හොඳ නැහැ. ඒක බබාට ආදරයෙන් පෝෂණය ලබා දෙන ක්‍රියාවලියක් වෙන්න ඕනේ. නිකම්ම නිකන් පසුතැවිල්ලක් ඉතිරි කරන්නක් නොවිය යුතුයි.

මගේ බලාපොරොත්තුව මේ සංවාදය හරහා කිසිම මව්කෙනෙක් විනිශ්චය නොකරන ඉඩක් නිර්මාණය කිරීමයි. මව්කිරි ලබාදීම නොදීම මත, හොඳ හෝ නරක අම්ම ලෙස හංවඩු නොගැසිය යුතුයි. ඔබේ වෛද්‍යවරයා විදිහට, මට අවශ්‍ය ඔබ සහ ඔබේ බබා සතුටින් හා නිරෝගීව සිටින හොඳම ක්‍රමය සොයා ගැනීමට ඔබට ශක්තිය දෙන්න.

මම මිශ්‍ර කිරි දීම (Mixed Feeding) මේ තරම්ම නිර්දේශ කරන්නේ ඇයි සහ ඒක අම්මලාගේ මානසික සෞඛ්‍යයට ලොකු පිටිවහලක් වෙන්නේ කොහොමද කියලා ඉදිරි post මගින් බලමු.

ඔබේ බබාට කිරි දෙන ගමනේදී ඔබට තිබුණ ලොකුම අභියෝගය හෝ බය මොකක්ද? පහත කමෙන්ට් එකකින් ඔබේ අත්දැකීම බෙදා ගන්න—අපි එකිනෙකාට උදව් කර ගනිමු!

ලැදියාවන් අතර ගැටුම් (conflict of interest) - මෙහිදී මම කිසිම ළදරු කිරිපිටි සමාගමක් ප්‍රවර්ධනය කිරීමක් නොකරන අතර වෛද්‍යවරයෙක් ලෙස ශ්‍රීලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පුහුණුව තුලින් ලබූ අත්දැකීම් ඔබ සමග සාකච්චා කරමි.

වහාම උදව් ගත යුත්තේ කවදාද

යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.

1990 අමතන්න — සුව සැරිය

මෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.